මල් නමැති ආඛ්‍යානය | ටිම්රාන් කීර්ති

අහවරය සිතා සිටි
කාරණා හගිස්සන
නඩු වාරයක් වැනි නියඟය
මා උයන්කරුවෙකු කළ
අතින් ඇද වතුර වක්කරන

පොඩිපුතු මා පසින්
වතුරට අධිපති දේවතාවා ලෙසින

උස් කොවුලකට නැගගත්
මල් වැලකි නොමැරුණ
එහි මලක් පිපුණේ කොහොමද
“වතුරත් නැතුව ඊටත්
වැඩිපුර ළංව අහසට”

පුතෙක් තාත්තෙකුගෙන් අහන්නේ
අම්මා ඇසිය යුතු ඒවද?
මව්කිරි අල්ලසක් යැයි කීවොත්
වැහි නැතිව හෙන ඒවිද ?

* * * * * * *

තවද එක් සමයකි
මේ සමයටම ඈඳුණ
වෘත්තියෙන් උයන්කරුවෙකි
මා එවර නම්
සිටු මැදුරකට පෑහුණ

සිටු දියණියකි රූබර
තවත් ලෙහුවොත් සුරඟන!!
ඔව්.. උයන්කරුවා මං
ඈ කැමති තැන කැන මැන
ඈ කැමති මල්, පීදුව

සේවිකාවකි බිරිඳ
ඒ සිටු මැදුරු ඝනයෙහි
සති පඩියකට මෙහෙ කළ

බඳින්නට කලින් දවසේ
අපිත් සමඟ පැමිණියේ
අර මල් වැල..,

පුතුගෙ මල් ප්‍රශ්නයට
මං ගලප ගත්තා පිළිතුර
වතුරට වඩා මල්වලට ඕනේ කාලය
පොහොර යැයි කියන්නේ
බැඳීම්වල සාරය

දවස තාමත් නොනිමිය
රැයද ගොළුබෙලි ගමනකට පෙරළුව

බිරිඳ තද නින්දේ
මිරිකං මල් වැලේ දාරය

පුතුගෙ මුව මදහසකි
නින්දෙනුත් මෝරන

බිරිඳට
මටද
සුරඟනට ද

ඇත්තටම
පුතු හිනාවෙන්නේ කාටද?

-ටිම්රාන් කීර්ති-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top