මා මිනිසෙක් ඔබ ගඟක් නිසා | ලාල් හෑගොඩ

සුන්දරම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඹුක් වියනක් යට සදා දාහය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ
අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී
පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ
එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී
හිරුගෙ තඹ රැස් ගලන සඳ ගඟ ගලන දෙසට ම
උඩු වියන් යට මඳ අඳුර තුළ ගලන මිණි කඳ
මෙලෙස පැවසිය නොහැක අසිරිය කවි බසින් මිස
සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත
සිනා සී පෙණ පිඬු සේ
දිය තත් අතර බිඳ දා නාද අනුනාද නංවා
කෝමළව ඇඹරී විලියෙන් පවසනා
පසක් වේ ඔබේ බස – බසක් සේ සුපුරුදු
වීසි කර අත බැඳි ඔරලෝසුව
ගලවා දමමි මිරිවැඩි
කොහේ යන්න ද ඔබ හැර
උනන විට සළු එකිනෙක
පෙනේ අඳුරු සෙවනැල්ලක්ව
ඡායාව මගේම සිරුරෙහි
තුරුලු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙද අන් මගක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා..
– ලාල් හෑගොඩ | මා මිනිසෙක් ඔබ ගඟක් නිසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top